Friday, December 20, 2024

විෂ....

 


විෂ සහිත සම්බන්ධයකින් ඔබ ඉවත් නොවන්නේ ඇයි ?


ආදරය කියන්නේ ආදරයමද? ඔබ ඔබේ ජීවිතයේදී විවිධාකාරයෙන් ආදරය අර්ථකතනය කරනවා ඇති. ආදරය කියන්නේ පරිත්‍යාගයක්, ආදරය කියන්නේ කැප කිරීමක් වගේ ගොඩක් විදිහට ආදරය කියන දේ මිනිස්සු හඳුන්වනවා. නමුත් ඔබ මොහොතකට සිතුවාද ඔබ ආදරයේදී ඔබට ආදරය කරන බව. බොහෝ ආදර කතාවල ඇත්තේ තමන්ව පසෙකලා අනෙකාගේ ජීවිතයට ආදරය කරමින් අනෙකා මත්තේම සිටීමකි. එය ආදරය නමින් ඔබ හඳුන්වනවා නම් ඔබ තවමත් නිවැරැදිව ආදරය හඳුනාගෙන නොමැති සේය. එය විෂ සහිත සම්බන්ධතාවයක් විනා සැබෑ ආදරයක් නොවනු ඇත.


යමෙකු විෂ සහිත සම්බන්ධතාවයක් අත් නොහරින්නේ  අත් හැරීමට බය විවිධ වූ හේතු කාරණා නිසාවෙනි. ආදරය සුන්දර වුවත් යථාර්ථය එතරම් සරල නොවේ. පුද්ගලයෙකු තමන්ට සෞඛ්‍ය සම්පන්න නොවන සම්බන්ධතාවයක සිටීමට එවැන්නෙකු තෝරා ගැනීමට හේතු රාශියක් තිබිය හැකියි. ඒ සම්බන්ධය හැර යාමට නොහැකි බව පවා ඔවුන්ට හැඟෙන්නට පුළුවනි. නමුත් ඔබ කළ යුත්තේ විෂ සහිත සම්බන්ධකම් වලින් ඉවත්ව යාමයි.


පුද්ගලයෙකු තම පවුලේ හෝ අනෙකුත් සම්බන්ධතා නිසාවෙන් ඔහුගේ හෝ ඇයගේ ආත්මාභිමානය පළුදු වී ඇත්නම් එය අහිතකර තත්වයක් වේ. මෙවැනි තත්වයක් දිගින් දිගටම පවතින්නේ නම් එම තත්වයෙන් මිදීම බොහෝ අසීරු කාර්‍යක් වේ. කුඩා කාලයේදී විෂ සහිත සම්බන්ධතා දැක තිබීම හෝ මේවා අතිශය සාමාන්‍යකරණය වී තිබීම හරහා තමන් විඳින සම්බන්ධතාවය ගැන අවබෝධයක් තිබෙන්නට නොහැකි වෙන්නට පුළුවන්. ඒ වගේම විෂ සහිත බව යහපත්ව දකින්නට උත්සාහ කිරීමෙන් ද විෂ සහිත බව යටපත් වීමට හැකියි. ඒ වගේම පීඩකයා විසින් වින්දිතයන් නිරන්තරයෙන් වැරදි බව හැඟවීම නිසා සම්බන්ධතාවය තුළ වැරැද්ද ඇත්තේ තමන්ගේ බව සිතන්නට පුළුවනි. එවැනි සම්බන්ධයකදී එක් අයෙක් පමණක් සෑම විටම වැරදිකරු වේ.


විෂ සහිත සම්බන්ධතාවයක පැටලී සිටියදී ආත්ම අභිමානයට දරුණු ලෙස පහර එල්ල වෙනු ඇත. " ඔයා හරි කැතයි. මන් ඔයා එක්ක හිටියට වෙන කවුරුත්ම ඔයත් එක්ක ඉන්නෙ නැතිවෙයි " වැනි චෝදනා නිසා සැබෑවටම තමන් කිසිම වැදගැම්මකට නැති තැනැත්තෙක් ලෙස සහකාරියට හෝ සහකරුට සිතිය හැක. එතැන් පටන් ඔහු හෝ ඇය තමන්ව දකින්නේ අවලස්සන ඒ වගේම සම්බන්ධතාවයකට නුසුදුසු පුද්ගලයෙකු ලෙසයි. එය විෂ සහිත සම්බන්ධතාවයක පවතින ඉතාමත් පීඩාකාරී තත්වයකි.


අපේ ජීවිතය ඉදිරියට ගලා යන්නේ බලාපොරොත්තු මත වේ. නමුත් ඔබ ආදර සම්බන්ධතාවයකදී ඔබේ සහකරු හෝ සහකාරිය කවදා හෝ හැදෙයි. එදාට එයා හැමදේම තේරුම්ගනියි. වැනි දේ සිතා හිත සනසාගන්නේ නම් එයින් ඔබට සිදු වන යහපතක් නොමැති වේ. නමුත් මෙහිදී සම්බන්ධතාවයේ පවතින්නා වූ විශ්වාසයට හානියක් නොවනු ඇත. ඔබ කළ යුත්තේ විෂ සහිත හම්බන්ධතාවයන් හඳුනාගෙන තවත් බලාපොරොත්තු ඇති කර නොගනිමින් එයින් ඉවත්ව යාමයි. සියල්ලට පෙර ඔබේ මානසික නිදහස තහවුරු කරගත යුතු වේ.


ඔබගේ සහකරුගේ ජීවිතයේ අතීත සිදුවීම් අලලා ඔබ තුළ ඇති කර ගන්නා වූ දුක හේතු කොටගෙන අනුකම්පා කිරීම විෂ සහිත සම්බන්ධයකදී අනුගමනය නොකල යුතු වේ. අනෙකා ඔබව කෙතරම් පහත් කර කතා කළද ඔබ ඔහුගෙන් ලබන සියලු වේදනා ඉවසා සිටිය යුතු නැත. දෙදෙනාට දෙදෙනා ගෞරව නොකරන තැන එක් පාර්ශවයක් සැමදා අසාධාරණයට ලක් වනු ලැබේ. සහකරුගේ අතීත තුවාල නිසා ඔහුගේ විෂ සහිත බව දරා ගත යුතුම බව සිතීම ඔබ සතු ගැටලුවකි.


ඇතැම් අයෙක් සම්බන්ධතාවය නතර කලහොත් තම සහකරු එයට පලි ගනී යන සැකය මත සියලු වේදනා ඉවසා සිටීමට තීරණය කරනු ලබයි. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයකි. මෙවැනි සහකරුවන් තමන්ට හෝ තම සමීපතමයන්ට හානි කරන්නට ඇති ඉඩ ගැන බියෙන් සමහරු ඒ සම්බන්ධතාවය අවසන් නොකරන්නට වග බලා ගනී. නමුත් එලෙස ගෙවී යන්නෙ ඔබේ වටිනා ජීවිතයේ හොදම කාලයයි. එබැවින් නොගැලපෙන තැනින් ඉවත් වීම ඔබ කළ යුතුය.


ආදරයේදී ඔබ සොයාගත යුත්තේ ගැලපෙන පුද්ගලයා නොව ඔබ සමග ජීවිතය බෙදා ගැනීමට හැකි පුද්ගලයෙකි. එසේ නොවන කළ සිදු වන්නේ ආදරය තුළ ඔබ හුදකලා වීමයි. විෂ සහිත සම්බන්ධයකට නොයෑමට නම් ඔබ සම්බන්ධයක් පටන්ගැන්මට ප්‍රථම ඔබේ සහකරුවාව හොඳින් හඳුනා ගත යුතු වේ. ඔබගේ මානසික නිදහසට, ගෞරවයට සහ ආත්මාභිමානයට මුල් තැන දෙමින් ඔබට සහය දක්වන්නා නියම සහකරුවෙකු වේ. 


No comments:

කැරොල් ගී... ❤️

  කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...