Saturday, October 26, 2024

විජයග්‍රහණයට.... 🌟

 


දුප්පත් වෙලා ඉපදුණු මිනිස්සු දුප්පත්කමින්ම මිය යනව කියන්නෙ මහ අපරාදයක්. ඒ වගේම තමයි ඔබ ඔබට ආදර නොකරම ජීවිතෙන් පැනල යනව කියන්නේ ඔබ අන්ත පරාජිතයෙක්. මනුෂ්‍යයා කියන්නෙම අභියෝගයන්ට මුහුණ දෙන්න ස්වභාවදහමෙන් දායාද කළ අපූරු නිර්මාණයක්. ඉතින් සියල්ලට ප්‍රථමව ඔබ ඔබට වටිනාකමක් දෙන්න. එයයි ඔබ ඔබට ලබා දෙන ජයග්‍රහණය….එතැන් පටන් ඔබට විජයග්‍රහණයකට අත පෙවිය හැකිය 💐

Monday, October 21, 2024

ලෙංගතුකම් 🤎

 

මේ ආත්මෙට මට මේ හොදටෝම ඇති ! 

කප්පරක් දුක ඔලුවේ තියාගෙන ගෙවෙන හැම තත්පරයක් ගානෙම ජීවත් වුනා මේ ආත්මෙට දැන් ඇති 

හීතල හීගඩු පිපෙන කනාටු හුළගක් මැද 

කිසිම ආත්මයක් ලග නැතුව ඔහේ පාට කරන ජීවිතයක් දැන් එකලස් නොවුන හීනයක් ව⁣ගේ මහාමේරුව ඔලුවේ දරාගෙන ,වැටෙන වැටෙන හැම තැනකදිම නැගිටලා තුවාල උන අත ,පය ,දිහා බලන් හූල්ලලාම දැන් හරි මහන්සියි 

මේ ගෙවිලා යන්නේ මුස්පේන්තු වරු 

නිනව්වක් නැති කරුණු කාරණා එක පිට එක පපුව පසාරු කරන් යන වරු 

මේ සා බරසාර මනුස්ස පරාණයක් මට ආරූඪ වෙලා මොකට පවු පුරෝගන්නවද කියල හිතෙනවා 

හිතනවට වඩා අහස පොළොවත් නුහුලනවා 

විසාල තැනක 

මහා පුංචියට 

ගෙවිලා යන්නෙත් ජීවිතයක් නේද කියල හිතෙනවා 

මොකටද ඉතිං 

එහෙව් හිතකට 

ඔය කියන තරමේ බරසාර ලෙංගතුකමක් 


මේ හීතලට 

එකම එක වතාවක් 

මොකක්ද ?? 


එකම එක වතාවක් 

ඒ කටහඩ වත් 

අඩුම තරමේ ඒකවත් 

නෑ 

යා කරන්න බැරි ඉරි යා නොකර ඉන්න 

ඔය මායිමෙන් එහාට මම එන්නැ ! 


Sunday, October 20, 2024

මමත්වය 🖤


 මම නම් කියන්නෙ මනුස්සයෙක් ජීවිතේ එකම සැරයක් හරි තනි වෙන්නම ඕන. මොකද එතකොට තමයි මිනිස්සුන්ට දැනෙන්නේ තමන් තමන්ට කොයිතරම් ආදරේ කරනවද කියල. ගොඩක් වෙලාවට මිනිස්සු තමන් ගැනවත් නොහිත අනුන්ට දේවල් කරනකොට, කැපකිරීම් කරනකොට, ආදරේ කරනකොට තමන්ට තමන් අහිමිවෙලා දන්නෙම නැතිව. ගොඩක් වෙලාවට අපි අපිට ආදරේ කරන එක පැත්තකට දාල අපිට ඕන ආදරේ බලාපොරොත්තු වෙන්නෙ තවත් මනුස්සයෙකුගෙන්. අන්න එතනදි තමයි මිනිස්සු ගොඩක්ම තනි වෙන්නේ. ඒත් ඒක ඒ මොහොතෙ දැනෙන එකක් නැතිවෙයි. මොකද ඒ වෙලාවෙ අපිට තවත් ආදරයක් හිමි වෙලා තියෙන නිසා ඒක කොහොමටවත්ම දැනෙන්නෙ නෑ. ඔබට තවකෙකුගෙන් ලැබෙන ආදරේ පොඩි අඩුවක් හරි දැනුන තැනදියි තමන් තමන්ගෙ ලෝකෙ කොයිතරම් නම් තනිවෙලාද කියල දැනෙන්නෙ. ඉතින් ඔබටත් පුලුවන් අනුන්ට ආදරය කරන ආදරණීයම චරිතයක් වෙන්න. ඒත් ඒ චරිතෙ අතුලෙ ඔබ ඔබව කොයිම වෙලාවකවත් තනි කරගන්න එපා. අන්න එදාට මේ ලෝකෙ කවුරු වෙනස් උනත් ඒ වෙනස ඔබට දරාගන්න පහසු වෙයි...මන් විශ්වාස කරන එක දෙයක් තියෙනව. ඒ තමයි... ඔබ ඔබට ආදරය කරන තරමට ඔබට තව කෙනෙක්ගෙන් ආදරය හිමි වේවි... ඉතින් තවත් බලා නොයිද ඔබ ඔබට ප්‍රේම කරන්න.... ඉරයි හදයි එකම අහසෙ එකට පායනවට වඩා දීප්තිමත් තනියම පෑයුවම..

බලන් අර නැගෙන ඉර

දුටුවද හඳ හැංගුනා......

හැමදාමත් ඉර නැගුනෙ හඳ අහසෙ හැංගුන නිසයි. ලෝකෙන් තනිවෙලා බලන්න. අන්න එදාට ඔබට ඔබව හමු වේවි නියත වශයෙන්ම.

පන්හිඳ 🤎


 දුන්හිඳට පෙම් බැන්ද 
පන්හිඳට ගිනි තියපු 
සානුවට මල් දුන්න
ඉසව්වවටම වස පෙව්ව 
ආත්⁣මෙකට පුලුවන් ද 
ඔය හැටිම ඇවිදින්න ..

තලාවක කෙලවර 
වස වලින් බේරුණු 
තිබුණා එක පුංචි මලක් 
බයටම හැංගිච්ච 

සුදු පාටට තිගැස්සෙන 
ඉර එළියට මුවා වෙන
පුංචි හුළගකටත් සැලෙන 
පෙති සිනිදු අහම්බකාරක මලක් 

මෙන්න පුදුමයි 
පුංචි මල ....
දුන්හිඳට ⁣කවි ලියන 
පන්හිඳට වචන අමුණන 
වස පෙවුන සානුවට මෙහායින් 
තවත් මල් පිපෙන අපූරුව 

ආත්මයට මෙහායින් 
දොරකඩ ඉස්සරහට 
හාදු තවරන අපූරුව 
වරක් නොව වතාවක් 
පිපුණි දොරකඩ 
කාශ්ටකයට අත වනා 
ස්නේහයේ මලක් ! 

Saturday, October 19, 2024

Zero 🖤


 ජීවිතේ එක වෙලාවක් එනවා හැමදේම

නැතිවෙලා, තනිවෙන්න වෙන...

දන්නවද...

ඒ වෙලාව තමයි ඔයාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය.

ෆීනික්ස් කුරුල්ලෙක් වගේ අළුවලින් නැවත ඉපදෙන්න ඒක තමයි හොඳම අවස්ථාව.

මොනවමහරි තියනකන් කවුරුමහරි ඉන්නකන් මිනිස්සු හරිම බෝරින්ග්!

මොකද ඒ ජීවිතේදි ඕනෙම දේකට හිත හදාගෙන පාඩුවේ ඉන්න ලේසියි.

මිනිස්සු බිංදුවේදි තමයි නිවැරදිම තීරණ ගන්නෙ.

ලොකුම ඉලක්ක හඹා යන්නෙ.

දරුණුම අභියෝගවලට මුහුණ දෙන්න පෙළඹෙන්නේ..

මොකද තවත් නැති වෙන්න දෙයක් නැති නිසා...

ඉතින්..

අමාරුකාලවලට බය වෙන්න එපා...

ජීවිතේ හොඳම කාලෙ එන්නෙ ඊට පස්සෙ...

Friday, October 11, 2024

මනුදම්


ඔබ මුදලින් පොහොසත් නම්, සමාජයෙන් පිළිගන්න තරම් බලයක් තියෙනවනම් ඔබ ඔබෙන් තනි වුවත් සමාජයෙන් නම් තනි නොවනු ඇත. මිනිස්සු හැම මොහොතකම තියෙන මනුස්සයෙක්ගෙ පිටිපස්සෙ වැටිල ඉන්නව මිසක තමන්ගෙ මට්ටමින් පහළ ඉන්න මනුස්සයෙකුට උදව් කරනව හරිම අඩුයි. නමුත් විය යුත්තේ අමාරුවෙන් වෙහෙස මහන්සි වී ජීවිතය ජයගන්න උත්සහ දරන මිනිසුන්ට උදව් කිරීමයි. සත්‍ය වන්නේ දුබලයා මේ ලෝකයේ තනි වෙන්නට ප්‍රථම මුදලින් බලයෙන් සපිරි මිනිසුන්  ඉක්මනින්ම තනි වීමයි. මන්ද ඔවුන්ගේ ජීවිතයේ වන එක් අතපසුවීමකින් ඔහු/ ඇය වටා සිටින සියල්ල විසිර යනු ඇත. ඔවුන් වටා සිටින බොහෝ පිරිසක් සිටින්නේ පරපෝෂිතයන් මෙනි. විටෙක ඔවුන් ලොබ බදින්නේ ඔබේ ජනප්‍රිය නාමයටයි. එසේත් නැත්නම් ඔබ සතු බලයටයි. මේ ලෝකයේ මිනිහෙක්ට තවත් මිනිහෙක් නැතිවෙන්නෙත් මේ නිසාමයි. එකිනෙකාට ලොබ බැද දුබලයන් පාගා දමන සමාජයක තවත් එක් පුංචි මිනිසෙකුට අඩියක් හෝ ඉදිරියට යන්නට අත දෙන මිනිසුන් වේ නම්, ඔවුන් නියම මනුෂ්‍යත්වයේ නාමය හොබවනා සත්පුරුෂයන්‍මය…..🧚


තිබෙන කලට වැසි වසිනා මිනිසුන්

හතරවරිගයම හොබවයි නෑයින්…

නැතිවුන කලදි බල මුදලත් සැනෙකින්

සායම සේදි යයි ගංගාවක් විලසින්…

රොක් වුණු සායමෙන් බොරු නළු නිලියන්

වැස්සට සේදි යයි දැන් නිරුවතින්…

කැස්සට පවා කලබල වූ මිනිසුන්

නොදුටුව විලස යයි දැන් විගසින්…


අසුන්දර තුලත් සුන්දර දුටු ඇතැමුන්

අද දෙස් තියයි පය ලිස්සා මැරියන්…

ලෝකෙට පෙනෙන්නට පිරිවර සිටියෙන්

ඇය තනි නොවුනි මේ සුවිසල් ලෝකෙන්…

ඇසිල්ලක් නොගිය තැන පද බැදුණෙන්

ලෝකය හට පිලිලකි මා නුගුණින්…

සිතුවත් මා නොතනි බව පිරිසෙන්

මා තනි වුනේ ලෝකෙන් නොව මාගෙන්…

Wednesday, October 9, 2024

🌟 තරුවක්


 හීත හිරිකඩ කාර්තුවේ

පිපුනමුත් මල

සුවද අඩුවක් නම් නොවුණි

මහ ඝණදුරෙන් එළිය ලද

          🥀

           

ලොවක් සුවදවත් කර

පරව යන ඔබ 

තව එක් මලක් වුව

ඔබට ඔබ තවත් එක් 

ලෝකයක්…


පරිපූර්ණ ලොවක් නොව, ඔබ පැතිය යුත්තේ ඔබේ හැගීම්වලට නිදහසේ පැළවිය හැකි බිම් කඩකි. අමාරුම කාර්තුවලත් ජීවිතය අත් නොහරින ඔබට, ආදරණීයම කාර්තුවක් මුණගැසිය යුතුමය. ඔබ දිනන්නේ කවදාද ? එදින අන් කවරදාටත් වඩා සුවිශේෂී දිනයක් වේවි. එදින තෙක් ජීවිතය ඉවසා දරා සිටින ඔබ මේ විශ්වයේ තවත් එක් තරුවක්. අමාවකට 🌙  නැතත් හැමදාම අහස දිදුලන්නේ පුංචි තරු කැට ගොඩකින්…..💫⭐🌠… ඒ විතරක්ද …ඔයාට පුලුවන් රෑ අහසෙ කඩා වැටෙන තරුවක් වෙලා තවත් ජීවිතයකට ආශිර්වාදයක් වෙන්න….. එහෙමත් නැත්නම් ඔයාට පුලුවන් තවත් ජීවිතයකට හරි පාර පෙන්නන්න…

Tuesday, October 8, 2024

සිත් අරණ


කවිකාර සිතක 

දුක්මුසුම ගායනය

වයයි…

සිතක ස්වර

වෙස්මුහුණු

 

හුඟක්ම දුක හිතුණු දවසෙත් 

තවත් හයියෙන් හිණැහුණා 

කඳුළු ගලනා දෑස වසනට 

තව ටිකක් ඈ හිණැහුණා 

දුක් කඳුළු නොව සතුටු කඳුළුයි 

වචන එක දෙක ගිළිහුණා 

නමුත් හදවත වැළපෙනා බව 

ලොවට රහසේ හැංගුවා

Friday, October 4, 2024


 බොහෝ විට අපි ස්පර්ශයක, සිනහවක, කාරුණික වචනයක,

සවන් දෙන කනක, අවංක ප්‍රශංසාවක හෝ කුඩාම සැලකිල්ලක

ඇති බලපෑම අවතක්සේරු කර ඇත. නමුත් මේ සියල්ලටම

ජීවිතයක් හැරවීමට තරම් හැකියාව ඇත.....

Thursday, October 3, 2024

ආදරේම හවසක


 නුපුරුදු ජීවිතයක

අඳුර නසන්නට

ආදරය නම් අවැසිය


සුපුරුදු ජීවිතයක

පහස ලබන්නට

මත් පොදක් අවැසිමය....


Wednesday, October 2, 2024

ඇය ගැහැණිය නම් විය.... 🤎


 හාදුවක පහස නොලබා නින්දේ පසුවන ගැහැණුන් 

දහවලට එක මුහුණක් රාත්‍රියට තව මුහුණක් පෙන්වන ගැහැණුන් 

කැඩපතට පමණක් වලංගු වන ගැහැණුන් 

උන් උන් හටම චෝදනා ලබන ගැහැණුන් 

හීනයක වියරුවෙන් ජීවත් වන ගැහැණුන් 


අනුන් වෙනුවෙන් ම ජීවත් වන මායාකාරී ගැහැණුන් 

මහ වැස්සට මහ ගිනි කාස්ටකේට එකම විදියට මුව පාන ගැහැණුන් 

තොරතෝංචියක් නැතිව කියවන 

එක එල්ලේ හිනා නොවෙන 

ආදරේ දීම පමණක්ම දන්න 

හැම අස්සක් මුල්ලක් නෑරම 

දූවිලි මැදින් ගිනි කා යදින 

සුරංගනා කතාවක 

නැතිවුණ සපත්තුව හොයන 

අවුරුදු ගණන් එකම නින්දේ පසුවන 


පාළු සයයක 

පාළු වීදියක 

පාළු අහසක 

පාළුවෙන් පාළුවට ගිම් තනන 

හත්පෙති මලේ මල් පෙත්තක් වන් ගැහැණුන් 

ඇවිද යනවා ඇති 

හිමි හිමින් ......


සදකෙමි ....


 ගිණිකොනේ ගිනි දැවෙන හද නිදි නෑ

සඳ කෙමි වැඳී දිලිහෙන්න නම් ඇය තෝඩු පළදා නෑ....


කොහොඹ සිහිලේ  පපුතුරේ උණුහුමේ ගුලිවෙන්න 

ගිණිකොනේ සඳ කෙමි වියන යට මගේ කැළෑ මල නිදියන්න ....

මලක් .... 🧚


 නෑ ඒක වැරදි නෑ හරි වැඩී....


අවාරයේ සමනලුන් සිරිපා කරුණා කරන්නේ නැත 

එලෙසින්ම අකීකරු මලක් විනා කීකරු මලක් ආවාරයේ පිපෙන්නේද නැත 

ඉදින් අවාරයේ විකසිත වන මල් සියල්ල අකීකරුමද ....

එකදු සමනලයෙක්ට හෝ ඒ මලක සෙනෙහස විදගැනීමට අයුතු ද....

අනතුරුදායක අවාරයක 

අතරමං වූවන් නොසිටිය හැකිද 

පත් හැලී ගොස් ගිම්හානයට අත වනන සැටිත් 

සරදම් හිනා මැද විකසිත වන සැටිත් 

මිනිස්සුන් දත යුතුමය 

ඉදින් මේ ප්‍රේමයේ කාර්තුවයි 

දොඩමලු වීම් අවැසිම කාර්තුවයි 

නෙක රටා මැවෙන අහස යට

ශ්වේත මිහිදුම් පටලයක අගිස්සක 

පුලුවනි ප්‍රේමය තබන්න 

ම්ම් හරි පරිස්සමට 

ශ්වේත සලුවට රහසින් ! 

එක් රැයක.... 🖤


 

අද රෑ මට ලියන්නට හැකිය ! 

හදවතේ ඉසියුම්ම තැනින් මට ලියන්නට හැකිය 

ලියන්නට නිමිත්තක් ලෙස රාත්‍රියකි ,
තරු පිරුණ අහසකි 
ඒ තරු දිලිසෙන්නේ අපි නිසාවෙනි 
හිතමිතුරු සුවඳ ලග සිට ගී මුමුණයි 
අහසේ කැරකෙන්නේ අපේ සුවඳයි 

හදවතේ ස්වර නැගෙන්නට විය විටෙක 
තවද 
එක ලෙසම 
ගීතිකාවකි ජීවිතය 
ආලෝකයෙන් නික්මෙන රැයක 
අඳුරට අත වනන 
සේයාවකි ඔබ ! 

ඇස් වලින් කතා කරන 
කතාවට රටා මවන 
ඉසියුම්ම සඳ කතාව 
රැහැයි හඩ කියා තිබුනිද එලෙස 

දන්නවද ඉතිං සඳ 
ආයෙමත් එනවා නේද 
බලන් ඉන්නද මම 
මේ නියොන් එළි මැදින්ම හෙට ! 


අම්මා... ❤️

 


අම්මා... ❤️


කුස්සියේ ලිප මුල්ලෙ

නැගෙන දුම් රොටු අතර

ඇගේ අවිහින්සක සිනාව

අළු මතින් නැගී එයි

අදත් එදා වාගේම....


දැලි ඉදුල් කහට රත් 

මවයි , දෑත කැටයමකි

දෙපතුලෙහි ඉරි තැලුනු 

නියගයකි කාෂ්ටක....


මා හොවා උකුලෙ ඈ

නැළ වූ සැටි කවි ගොතා

අදත් මා සිත් ඉමක

පාරවයි හද පුරා....

මාරුතය


 



පිටුවෙන් පිටුවට 


අකුරෙන් අකුරට 


ලිවිය නොහැකි බවද 


කියවිය නොහැකි බවටද 


ඉදුරාම දන්නා ඉසව්වක 


කතාන්දර ලියවුණි ...


දන්නා නොදන්නා 


ඉමක් කොනක් නැති පාරාදීසයන්හිදි 


සමහර කතාවන් කතාවන් පමණක් වු බවද 


එයින් එහාට සමහරක්  කතා 


අමරණීය වූ බවද දනිමි ....



එකින් එක විමසා බැලිය නොහැකි තැන 


නමක් දිය නොහැකි තැන 


කතාවෙන් බිදක් ,


මාරුතයක 


සගවා එවා ඇති බවට ඉසව්වක් දන්නා බව මා ද දනිමි 


ඉන් එහාට මාරුතයට 


කවුද ?


මොකටද ?


ඇයිද ?


යන්න විමසීමට කරුණු තනා නොමැත


ඒ වග හොදින් හදුනනා වගත් ,මාරුතය කෙරේ ඇති හැගීම පිලිබදවත්


මේ මිටියාවත දන්නා බැව්ද දනිමි 


ඉන් එහාට ....


පිපෙන නොපිපෙන මල් ගැන මට වගක් නැත 


හමන සුළගේ වේගය ගැන මට වගක් නැත 


තවද 


පායන ඉරට ,පායන හදට සාක්ෂි වන්නේද නැත 


ඉතිං ,


මාරුතයේ කීම විනා 


⁣අනෙකුත් චණ්ඩ මාරුතවල වගකීම් පිලිබද මා තකන්නේද නැත 


ඉදින් ,


කවරදාක වුව...


කවර වෙලාවක වුව ...


මාරුතයේ මුදු සිසිලට 


සාක්ෂියක් තැබීමට සිදු වන්නේ නම් ,


හමා ආ චණ්ඩ මාරුත 


ගැන ඕනවටත් වඩා 


වද වී ඇති බව  මාරුතයට පසක් කොට 


ඉර හදට සාක්ෂි තබා 


මිටියාවතක මලක මෙසේ ලියා තබමි!

ඇය


 

ඇය


ඝණ අදුරේ දිදුළන දෙව් දුවකි


            ඇය...


අමාවකට තනි රකිනා තරුව



              ඇය...



තනි රකිනා සිත් දැහැනට සිත් අහස 



             ඇය....



කවිය නුඹයි සිතුවිලි රජ කරන 



             සිත....

අහස

 අහස


නිහැඩියාවක් අද්දර 

ආවෙමි හනික සොයාන 

දහසක් හීන මැද 

හැදිනුවෙමි නුඹව මම 

හීන නම් කොච්චර ද 

ඉතිං එහෙමයි නේද 

අද නැතත් හෙට 

එනවාමයි ඔන්න 

ඉතිං එහෙනම් අහස 

ඔහොම පොඩ්ඩක් ඉන්න 

ආසයි මටත් ඔන්න 

හිරිකඩ මැදින්ම පියාඹන්න 

ඉතිං එහෙනම් හනික 

ආයේ එනවාමයි නේද..?


කැරොල් ගී... ❤️

  කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...