" මමත්වය " ඔබ හිතන විදිහටම ආත්මාර්ථකාමීත්වයක් ද?
සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් ලෙසින් මිනිස් ජීවිතයක් ලැබූ ඔබ තවත් එක් ලෝකයක්මය. ඔබ තනාගත් ලෝකයේ ඔබ සතුටින් නම් එයයි ඔබේ ජීවිතයේ විදීම. මේ ලෝකයේ ඔබ මුලින්ම ආදරය කළ යුත්තේ ඔබටයි. ඔබ ඔබට ආදරය කිරීමේදී සාර්ථක නොවේ නම්, ඔබ අවට සිටින ආදරණීයන්ට ද වටිනා ආදරයක් ලබා දීමට ඔබට හැකියාවක් නොලැබෙනු ඇත. මේත් සමගම ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත නිදහසේ තුටින් ගෙවී යත්ම තවත් අයෙකුගේ ජීවිතය කම්කටොලු ගොන්නක් මධ්‍යයේ ගෙවී යයි. එය ඔබේ පවුල් පසුබිම, ඔබේ හැකියාවන් සහ උනන්දුව මත විවිධ වේ.
ඔබට ලැබී ඇති ජීවිතය තවදුරටත් ගොඩනගා ගැනීම ඔබ සතු වගකීමකි. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා මූලික අවශ්‍යතාවය වනුයේ මමත්වයයි. ඇතැමෙක් මමත්වය ආත්මාර්ථකාමී ලෙසින් අර්ථ ගැන්වුවද ඔබේ ජීවිතයට ඔබ ඉටු කරනා සාධාරණත්වය රඳා පවතින්නේ ඒ මතයි. සමාජය විසින් ඔබට කොතරම් ගැරහුවත් අනෙක් අතට ඔබට කොතරම් වටිනාකමක් ලබා දුන්නද ඔබ මුලින්ම කළ යුත්තේ ඔබට ආදරය කිරීම විනා ලෝකයා සතුටු කිරීම නොවනු ඇත. සමාජයේ වෙසෙනා සමහර මිනිසුන්ගේ කය ක්‍රියාකාරී වුවත් සිත මියැදෙන්නේ ලෝකයා සතුටු කර තමන් කටුකත්වය විඳීම තුළයි.
ජීවිතයේ සැපත, සතුට පතනා ඔබ ඔබේ සතුට පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. ජීවිතය කෙලෙස ආරම්භ වුවද ජීවිතයේ ජයග්‍රාහකයා ඔබම වීමට නම් ඔබ යථාර්ථවත් විය යුතුය. ජීවී ලෝකයක ජීවත් වන ඔබ තවත් අජීවී ලෙසින් ඇස්, කන් නොමැත්තෙකු සේ එකම තැන නැවතී සිටීම නතර කළ යුතුම වේ. ඔබේ ක්‍රියාකාරී ගත මෙන්ම මනසද සතුටෙන් ස්වයංපෝෂිත වේ නම් ඔබ පිළිබඳව ඔබේ තෘප්තිමත්භාවයට කිසිවෙකුට හෝ කිසිවෙකුගේ බලපෑමකට හානි පැමිණවීමට නොහැකි වේ. ඔබ මෙතෙක් අලසයෙකු ලෙස සිටියේ නම් ඔබ අවදි විය යුතු සුදුසුම මොහොත මෙයයි.
දශක ගණනාවක පටන් සංවර්ධනය වෙමින් පවතින රටක අමාරුවෙන් ජීවත් වීමට ඔබ වරම් ලැබුවද එය ඔබේ නොදියුණුභාවයට හේතුවක් නොවිය යුතුය. මන්ද, කොතරම් අපහසුතා මධ්‍යයේ වුවද අතලොස්සක් ජීවිත බබළන්නේ ලෝකයටත් අභියෝග කරමිනි. ඒ අතලොස්ස අතරට යාමට ඔබ කළ යුත්තේ ඔබේ උනන්දුව, උත්සාහය නොමදව දරා සිටීමයි. ඔබ තෘප්තිමත් වීමට නම් ඔබේ ඉලක්ක, අරමුණු ජයගත යුතුව ඇත. ජීවිතය ජය ගැනීමට ප්‍රථම ඔබ ඔබේ වටිනාකම තේරුම් ගත යුතුය. එතැනදී මමත්වය යනු සර්ව සාධාරණ ලෝක නියමයකි.
නිරන්තරයෙන් මාධ්‍යට නිරාවරණය වන ඔබ, මිනිස් ජීවිතයක් හිමි අයෙක් සමහර විට තිරිසන් සත්වයින් සේ කටයුතු කරනවා නිසැකවම දැක ඇත. ඔවුන් එලෙසින් පෙන්වා දෙන්නේ ඔහු හෝ ඇය තමන්ට ලබා දී ඇති වටිනාකමයි. කවුරුන් කෙසේ වාසි බස් තෙපලුවද ඔබේ වටිනාකම තීරණය වන්නේ ඔබ ළඟා කරගන්නා සාර්ථකත්වය මතම වේ. සාර්ථකත්වයේ රහස සොයා යන්නාද ඔබම වන විට සාර්ථකත්වයට පහසුම මග සොයාගන්නා සුදක්ෂයෙකි. සමාජ මාධ්‍යයේ හෝ වේවා නිකරුණේ ඔබ තවමත් කාලය ගත කරනවා නම් එය ඔබ සතු අඩුපාඩුවකි. සාර්ථකත්වය වෙනුවෙන් නැකැත් බලන්නා සැබැවින්ම අලසයෙකි.
ඔබ අප ගෙවනා මේ ජීවිතයේ අවසන් හුස්ම හෙලීම කොතැනක කෙසෙලින් සිදු වේද යන්න ඔබ අප කිසිවෙකු නොදන්නවා ඇත. එතරම්ම අවිනිශ්චිත වූ ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා යන ගමනේදී තවමත් නිකරුණේ කාලය වැය කරන්නට තරම් ඔබට හැකියාවක් නොලැබිය යුතුය. ජීවත්ව සිටිනා සජීවී ලෝකය තුළ තමන්ගේ වටිනාකම තේරුම්ගෙන සාර්ථකවන්නා නියම ජයග්‍රාහකයෙකු වන විට සමාජ මාධ්‍යයේ අනිසි ලෙසින් කාලය කා දමනා ඔබ ඔබට සැබවින්ම ප්‍රේම කරයිද ?
ඔබේ ආදරණීය ජීවිතයේ රඳා පැවැත්ම සඳහා ඔබ තවකෙකු මත යැපෙනවා වෙන්නට පුළුවන. ඔබ ඔබට ආදරය කිරීම පසෙකලා තවකෙකු ඔබට වඩා වැඩි ආදරයක් ලබා දෙන තත්වයක් බලාපොරොත්තු වේ නම් එය ඔබ ඔබවම නොසලකා හැරීමකි. තවකෙකුගෙන් ආදරය ලැබීමට ප්‍රථම ඔබ ඔබට ආදරය කළ යුතුය. එසේ නොවන විට බොහෝ දෙනා ආත්මාභිමානය ගිලිහුණු පුද්ගලයන් බවට පත් වේ. මා දකින්නා ආකාරයට මමත්වය කියන්නේම ඔබේ ආත්මාභිමානයේ පෙරමං තනන්නකි.

No comments:
Post a Comment