නොනිම් ආශා හඹා යන ලෝකයේ කළුවරද හෙට දවස ?
ආසියාවේ මුතු ඇටය නමින් හඳුන්වන මේ පුංචි රටේ වංචා දූෂණයන් සිදුවන්නේ නම් කුඩා පරිමාණයෙන් නොවෙයි.වත්මන් සමාජය දෙස බලන විට ලංකාවේ අනාගතයම අභියෝගයට ලක් වී ඇත්තේ වැඩිහිටි පට්ටම දරනා ඇතැම් රකුසන් විසින් දරුවන් කෙලෙසා දැමීමයි.වැඩිහිටියෙකු විසින් අසම්මත ,නොමනා හෝ නොකළ යුතු ක්‍රියාවක් වෙනුවෙන් ළමයෙක් යොදවා ගැනීම අපයෝජනය යන්නෙහි වචනාර්ථයයි.විශේෂයෙන්ම ලංකාව වගේ රටක ජනමාධ්‍ය තුළ වගේම සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වන්නේ ගැහැණු දරුවන්ට සිදුවන බලපෑම පිළිබඳවයි.අද වන විටත් ඇතැම් ජනයා සිතන්නේ අපයෝජනයක් සිදුවන්නේ ගැහැණු දරුවන්ට පමණක් වන බවයි.
නමුත් එය එසේ නොවෙයි.ගැහැණු දරුවන්ට සමව පිරිමි දරුවනුත් අපයෝජනයට ලක් වේ.පිරිමි දරුවන්ට මේ හරහා වන බලපෑම පිළිබඳව කථිකාව මිලින වී ඇත්තේ මාධ්‍යය තුළින් අවධානයක් නොදැක්වීම හේතුවෙනි.අපයෝජනය තත්ත්වයකට මුහුණ දෙන බොහෝ ගැහැණු දරුවන් ගැබ් ගැනීම්, අනවසර ගබ්සා කිරීම් වැනි ක්‍රියාවකට පෙළඹේ.මෙලෙසින් සිදු වන බලපෑමෙන් අපකීර්තියට පත්වන දරුවන් ඉගෙනීමෙන් ඈත් වීම ශ්‍රී ලංකාවේ ප්‍රබල ලෙස සිදුවෙමින් පවතී.
පිරිමි දරුවන් කොතරම් වැරදි කළත් නාවලා ගෙට ගත්තම වැරදි සියල්ල හරි යන්නට ජනවහරේ අපට හමුවන ජනප්‍රිය වදන කෙසේ වෙතත් පිරිමි දරුවන් අපයෝජනයට ලක්වීම නිසා මානසික වශයෙන් දැරිය නොහැකි පීඩනයකට ලක්වෙනවා මෙන්ම ඒ හරහා ඔවුන් සමාජයට වෛර කිරීමට පටන් ගනු ලබයි.පිරිමි දරුවන් මෙවැනි මානසික තත්ත්වයකට පත්වීම නිසාම පසුකාලීනව ඔවුන් තමාට සිදු වුන හානිය සමාජයෙන් අත්දකින්නට වෙර දරනු ලබයි.අපයෝජනයට සම්බන්ධ බොහෝ සිදුවීම් පිළිකාවක් ලෙස උඩුදුවන්නේ මේ හේතුව මූලික කරගෙනයි.වර්තමානය වන විට දරුවන්ට නිවස පවා අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇත්තේ කාම රකුසන්ගේ ව්‍යාප්තියත් සමගයි. මේ තත්ත්වය කෙසේ ද යත් අද වන විට තම කුසින් වැදූ දරුවන්ගේ ලිංගිකත්වය ලෝකය ඉදිරියේ කෙලෙසා මුදල් ඉපයීමේ තත්වය දක්වා උඩුදුවා හමාරය.විශේෂයෙන්ම වත්මන් සමාජය තුළ දරුවන් අපයෝජනයට ලක්වන්නේ නිවෙස් තුළදීමයි.ලෝකය පිළිබඳව තවමත් ඉගෙන ගනිමින් සිටිනා දරුවන් කාමාතුරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම දෙමව්පිය වැඩිහිටි අප කාගේත් මෙන්ම උත්තරීතර රාජ්‍යයේද උර මත වූ වගකීමකි.මෙහිදී දෙමව්පියන් තම දරුවන්ව විශ්වාස කිරීම, ඔවුන්ට ඇහුම්කම් දීම සිදු කළ යුතු අතර දෙමාපියන් දරුවන් කෙරෙහි අවධානය යොමු කරන්නේ කෙතරම්ද එපමණකින් තම දරුවන් සුරක්ෂිත වේ.
ඕනෑම දරුවෙකු අපයෝජනයට ලක් වූ විට 1929 දුරකථන සේවාව සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රීක් ළමා ආරක්ෂක නිලධාරීන්,ප්‍රාදේශීය ළමා ආරක්ෂක,කාන්තා හා ළමා ආරක්ෂක අංශය වැනි බහුතර සේවාවන් මේ පුන්චි රටේ පැවතුනත් එදිනෙදා සිදුවන ළමා අපයෝජනයන්ගේ නම් කිසිදු අඩුවක් නොමැත.දුප්පත්කමින් ,මන්දපෝෂණයෙන් මේ වන විටත් ඉදිරියෙන්ම සිටිනා අපේ රට මේ අර අදින්නේ ළමා අපයෝජනයන්ගෙන් මුල් පෙළ ගැනීමටද යන්න සැකයක් පහල වන්නේ එහි සීඝ්‍ර පැතිරීයාමත් සමගයි.
නීතිමය රාමුව පසෙකලා විකෘති ආශාවන්ගෙන් පෙළෙනා ඇතැමුන් දරුවන්ව බිල්ලට ගන්නෙ කිසිදු බයක් සැකක් නොමැතිවයි.මෙවන් කාල වකවානුවක පරමාධිපත්‍ය හිමි කරගත් රාජ්‍යක සෘජු වගකීම වන්නේ නීතිමය රාමුව තව තවත් ප්‍රභල කිරීමයි.කුඩාම ඒකකය වන නිවසේ පටන්ම පාසල , සමාජය යනාදී සියලු ස්ථරයන් අතුලත් වන පරිදි ළමුන්ට අපයෝජන තත්වයන්ගෙන් මිදීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කළ යුතුම වේ.මෙහිලා වන නීති රාමුව පිළිබදව නිරතුරුවම දැනුවත් කරමින් අනාගත දරු පරපුරට සුරක්ෂිත හෙට දවසක් නිර්මාණය කිරීම නියම මිනිසාගේ ප්‍රථම රාජකාරියයි.

No comments:
Post a Comment