පිට අයට හොඳ අපේ අය බය වෙන ලිවින්ග් ටුගෙදර්
විවාහය කියන නීතිමය බැඳීමට එළඹීමට ප්‍රථම දෙදෙනෙක් එකට විසීම ලිවින් ටුගෙදර් ලෙස සරලව හැදින්වීමට හැකියි.විවාහය යනු ගැහැණු පිරිමි භේදයකින් තොරව ජීවිතයේ ගන්නා ඉතාමත් වැදගත් තීරණයකි.එහෙව් තීරණයක් ගැනීමට ප්‍රථමව දෙදෙනෙක් එකට ජීවත් වී නියම සහකරුවා හෝ සහකාරිය සොයා ගැනීමට සංස්කෘතික රාමුවක කිදා බැසගෙන ඉන්නා ලංකාව වැනි රටක මෙය අනාචාරයේ හැසිරීමකි , සදාචාරය කෙලෙසා දැමීමකි. ලංකාවේ තරමක් දුරට ලිවින්ග් ටුගෙදර් සංකල්පය ක්‍රියාත්මක වුවත් බොහෝ දෙනෙක් මේ සංකල්පය ක්‍රියාත්මක නොකරන්නේ සංස්කෘතිය කෙලෙසා දැමීමට ඇති අකමැත්ත නිසාමයි.
ඔබ ඇඳුමක් මිලදී ගන්නට පෙර එය ඔබට ගැළපෙනවාද ? , නැද්ද ? කියා තීරණය කරනු ලබන්නේ එය ඇඳ බැලීමෙන් අනතුරුවයි. මෙය සමාජයේ සිදුවන පොදු ක්‍රියාවකි. එසේ නොවුනහොත් සමහර විටෙක ඔබ ඊට වැය කළ කාලය නාස්ති වී යයි. සිතා බලන්න, ඔබ සතුව නොසැලකිල්ලෙන් මිලදී ගත් ඔබ එක්වතාවක් හෝ නොඇදපු ඇඳුම් කෙතරම් ඇද්ද ?. ඒ සඳහා ඔබෙන් කාලය සහ මුදල් වැය වූවා මිසක එයින් ඔබට ලැබුණු කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැත.
ශ්‍රී ලංකාවේ 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 19 වැනි වගන්තියට අනුව විවාහයක් විසුරුවා හැරීම පිණිස පහත හේතු තුනෙන් එකක් ඔප්පු කළ යුතු වේ.
- විවාහයෙන් පසුව ඇති කරගත් අනාචාරය.
- ද්වේශ සහගත අතහැර යෑම.
- සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය.
මේ කාරණා තුනේදීම බලපාන පොදු සාධකය වන්නේ විවාහයට පත් යුවළ අතර ඇති නොගැළපීමයි.විවාහයෙන් පසුව ඇය හෝ ඔහු වෙනකෙකු සමග අසම්මත පෙමකට පෙළඹෙන්නේ දෙදෙනා අතර ඇති නොගැළපීම් තුන්වන පාර්ශවයක් සමග ගළපා ගැනීම හේතුවෙනි. ලංකාවේ වත්මන් තත්ත්වය තුළ විවාහයට පත්වූවන්ගේ වෙන්වීමේ ප්‍රවණතාවය ඉතාමත් ඉහළයි.එවැනි පසුබිමකදීත් ආසියානු කලාපයේ සංස්කෘතික මානවයා සිදුකරන්නේ ළිං මැඩියෙකු සේ ළිඳටම බැස සිටීමයි.වෙනස් විය යුත්තේ මිනිසාගේ ආකල්පයයි. බටහිර රටවල ලිවින්ග් ටුගෙදර් සංකල්පය බහුල ලෙස ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ ආකල්පවල ඇති වෙනස නිසාමයි.විවාහයට පෙර දෙදෙනෙකු එකට විසීම හරහා එකිනෙකා අතර හොඳ තේරුම්ගැනීමක් ඇති කරගත හැකිය , අනාගතය නිසි ලෙස සැලසුම් කරගත හැකිය සහ නීතිමය වශයෙන් බැදීමකට යාමට පෙර නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබෙනු ඇත.විවාහයට පෙර මෙලෙසින් එකට විසීම විවාහයට මනා වූ අඩිතාලමක් සකසා දෙයි.
සස්කෘතික රාමුවක එල්බගෙන සිටිනා බොහෝ රටවල සංස්කෘතිය විනාශ වන්නේ , විවාහයට පෙර දෙදෙනෙක් හොඳ තේරුම් ගැනීමකින් පසු සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන තැනදී නොව , මනා වූ තේරුම් ගැනීමකින් තොරව විවාහයෙන් පසුව දරුවන්ද අසරණ කරමින් දෙමාපියන් වෙන්ව යන තැනයි. මිනිසා පළමුවෙන්ම සිදු කළ යුත්තේ නියම සංස්කෘතිය කුමක්ද කියා නිවැරදිව හදුනා ගැනීමයි.ආකල්පයන් වෙනස් විය යුත්තේ මෙතැන් පටන්ම වේ.ලංකාව වැනි සමාජයක ලිවින්ග් ටුගෙදර් සංකල්පය ක්‍රියාත්මක වේ නම් එය අර්ථවත් ,සතුට පිරුණු සහ සාර්ථක සමාජයක් තැනීමට පෙර නිමිත්තකි.

No comments:
Post a Comment