සමාජයක මූලික පුරුක වන්නේ ළමාවියේ පසුවන ඔබේ දුව , පුතා හෝ සහෝදර සහෝදරියන්ය. අවුරුදු 18 ට අඩු සෑම පුද්ගලයකුම ළමයෙකු ලෙස හදුන්වයි. මේ සමාජ කොට්ඨාසය ළමයින් ලෙස හඳුන්වන්නේ ඔවුන් තවමත් දේවල් ඉගෙන ගනිමින් පසුවන නිසයි. නමුත් දරුවන්ගේ ළමා මානසිකත්වය තේරුම් ගැනීමට තරම් ඇතැම් විට වැඩිහිටියන්ගේ මනස පෝෂණය වී නැත්තා සේය. වත්මන් සමාජයේ ළමා හිංසනය ප්‍රබල සිදුවීමක් බවට පත්ව ඇත්තේ සියලුම නීති රීති අභිබවමිනි. නීති පොතේ දක්වා ඇති පරිදි අවුරුදු 18 අඩු කිසිදු ළමයෙකු සේවයේ යෙදවීමට නොහැකිය , අපයෝජනයට ලක් කිරීමට නොහැකිය සහ ලිංගික සේවයේ යෙදවීම තහනම්ය. මෙවැනි වූ නීතිමය පැතිකඩ පසෙකලා සමාජයේ වැඩිහිටියා යන නම දරමින් තම දුව පුතාගේ ලිංගිකත්වය විකුණා ජීවිකාව සරිකරගන්නා දෙමව්පියන් අද සුලබයි. දරුවන්ට හරි දේ පෙන්වා ඔවුන්ව යහමග යැවීම දෙමව්පිය සහ වැඩිහිටියන්ගේ භාරදූර වගකීම ලෙසින් ලේබල් ගසා ඇති සමාජයක නියම වැඩිහිටියා මිලින වී ඇත. වගකීම් සහගත වැඩිහිටියාගෙන් ඉටුවිය යුත්තේ දරුවන්ව ශාරීරිකව හා මානසික වශයෙන් පීඩාවට ලං නොකරමින් ඔවුන්ගේ හැගීම් අවබෝධ කරගනිමින් කටයුතු කිරීමයි. දරුවා මූලික අධ්‍යාපනය ලබන්නේ තම දෙමව්පියන්ගෙනි. නිවසේ පවතින වටපිටාව සහ ඇසුරු කරන්නන් හරහා නව අත්දැකීම් ලබන දරුවාට යහපත් සුරක්ෂිත වටපිටාවක් තනා දීම වැඩිහිටි කාගේත් වගකීමකි. ඒ උදෙසා අවවාද කිරීම , දඩුවම් දීම සහ හිංසනය යන වචනාර්ථයන් මනාව අවබෝධ කරගත් සමාජ කොට්ඨාසයක් විශේෂයෙන්ම අවශ්‍ය වේ. ළමා හිංසනයෙන් තොර යහපත් සමාජයක් තනන්නට නිතැතින්ම කටයුතු කරන නියම මිනිසා මහඟු ආශිර්වාදක් නොවන්නේද ? මේ සදහා බලධාරීන් එක් වී කටයුතු කළ යුතු නොවේද?

No comments:
Post a Comment