හිතුමතේ ගත කරන ජීවිත නකපිට පෙරලන උපායශීලීත්වය
ඔබට ලැබුනු මේ ජීවිතය ඉතාම වටින බව ඔබ තේරුම්ගත යුතුමයි. ඔබට හිමි වූ ඒ ජීවිතය අර්ථවත්ව ගත කරන්නේ නම් ඔබ ඔබේ ජීවිතයට යථාර්ථයක් එක කරනු ලබයි. නමුත් එසේ නොමැතිව ඔබ එන විදියට මුහුණ දෙමින් ජීවත් වෙන පුද්ගලයෙක් නම් ඔබේ ජීවිතය ඔබ නිසි ආකාරයෙන් ගත නොකරන පුද්ගලයෙකු වේ. ඒ උදෙසා සැලසුම් සහගතව ජීවත් වීමට පුරුදු වන්නේ නම් ජීවිතය වඩාත් යහපත් ආකාරයෙන් ගත කළ හැකි වේ.
වර්තමානයේ බොහෝ දෙනා නගන මැසිවිල්ලක් වන්නේ තමා කරන කියන කිසිම දෙයක් සාර්ථක නොවන බවයි. මේ හේතුන් නිසාම බොහොමයක් දෙනා ස්වභාවයෙන්ම ජිවිතය සාර්ථක කරගැනීම පසෙකලා එදිනෙදා කටයුතුවලට මුහුණ දී ජීවිතය පවත්වා ගෙන යාමට හුරු වී ඇත. මෙම තත්වයෙන් බැහැරව සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන්නෙකුට උපායශීලීත්වය අනුගමනය කළ හැකිය. උපායශීලීත්වය යනු පරිසරයට අනුව අනුවර්තනය වී තමා තුල සැඟවුණු කුසලතාවයන් කළමනාකරණය කර ඉලක්ක ජයගැනීමේ ක්‍රමවේදයයි. එදිනෙදා අප සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන උපායශීලීත්වය යන වචනයට සාපේක්ෂව වෙනස් දෙයකි.
හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මයිකල් පොර්ටර්ට අනුව උපායශීලි පුද්ගලයාගේ අරමුණ විය යුත්තේ තමා විසින් නොකළ යුතු දෑ අවබෝධ කොට ගැනීමයි. දෙවන ලෝක යුධ සමයේදී පෙන්වූ නායකත්ව දක්ෂතා හේතුවෙන් වින්ස්ටන් චර්චිල් ද, ප්‍රංශ විප්ලවය අතරතුර ප්‍රංශ හමුදා මෙහෙය වූ දක්ෂතාවය හේතුවෙන් ප්‍රංශ අධිරාජ්‍ය නැපෝලියන් බොනපාට් ද අති විශිෂ්ට උපායමාර්ගිකයන් ලෙස හඳුනාගෙන ඇත. උපයශිලිත්වය ජය ගැනීමට පමණක් නොව සහයෝගීතාව වර්ධනය කර ගැනීමට පවා බෙහෙවින් ඉවහල් වන ක්‍රමවේදයක් වේ.
උපායශිලිත්වය නැමති ක්‍රමවේදය තමාගේ ව්‍යාපාර සාර්ථක කර ගැනීමටත්, රැකියාවේ කටයුතු සාර්ථක කර ගැනීමට මෙන්ම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආදී නොයෙකුත් අවස්ථා සඳහා භාවිතා කළ හැකිය. මෙහිදී භාවිතා කරන උපක්‍රම ආක්‍රමණශීලී නොවීම විශේෂත්වයක් වේ.
උපායශිලී පුද්ගලයෙකු වීමට ජීවිතයට එක්කරගත යුතු කාරණා කිහිපයකි. එනම්,
- සැලසුම් සහගත බව
- අධ්‍යනාත්මක මනසකින් යුක්ත වීම
- අත්හදාබැලීමේ කැමැත්ත
- සටහන් තබාගැනීම වේ.
සැලසුම් සහගත වීමේදී
යම්කිසි කටයුත්තක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම කටයුත්තේ අවසාන ඉලක්කය හෝ අවසාන ප්‍රථිඵලය මනසේ තබාගෙන එම කටයුත්ත ආරම්භ කල යුතු වේ. ඉන්පසුව අදාළ කටයුත්ත ආරම්භ කිරීමේ සිට අවසානය දක්වා ඇති සම්පූර්ණ ක්‍රියාවලිය පියවරයන් ලෙස කුඩා අනු කොටස් වලට කඩාගෙන අදාළ කටයුත්ත සාර්ථක වීම සඳහා එක් කර ගත යුතු කොටස්, අත් හැරුණු කොටස්, අතහැරිය යුතු කොටස් සහ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමේ විවිධ ක්‍රම පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත යුතුය.
අධ්‍යනාත්මක මනසකින් යුක්ත වීම සලකා බලන විට උපායශීලි පුද්ගලයෙකු වීමට අධ්‍යනාත්මක මනසකින් යුතු වීම අත්‍යාවශ්‍ය සාධකයකි. මෙය එදිනෙදා කටයුතු අතරතුර මනස පෝෂණය කර ගැනීමේ ක්‍රියාවලියකි. ඔබ එදිනෙදා සමාජ මාධ්‍ය ජාලා භාවිතයේ දී මිනිසුන් යම් යම් දේ සිදු කර ඇති ආකාරය සහ ඔවුන් ඒ දේවල් කිරීමට උත්සාහ කර ඇති ආකාරය පිළිබඳව අධ්‍යනාත්මක මනසකින් යුතුව නිරීක්ෂණය කිරීම වැදගත් වේ. ඔවුන් අතින් සිදුවන වැරදි අඩුපාඩු, ඔවුන් ඒවා නිවැරදි කර ගන්නා ආකාරය සහ ඔවුන් ඒවා ජයග්‍රහණය කරන ආකාරය ඔබේ අත්දැකීම් ගොන්නට එකතු කරගත හැකිය.
උපායශීලී පුද්ගලයෙකු වීමට නම් නිරන්තරයෙන්ම අත්හදාබැලීම් වල නිරත විය යුතු වේ. මෙහිදී ඔබ කිසියම් අවස්ථාවකදී සාර්ථකත්වය ලබාගත්තද දිගින් දිගටම සාර්ථකත්වයට පත්වීම අරමුණු කරගත් අත්හදාබැලීම් සිදු කළ යුතු වේ. මන්ද ජීවිතයේ අපට මුහුණ දෙන්නට සිදුවන්නේ එකිනෙකට වෙනස් අත්දැකීම් වලට වන නිසාවෙනි. ඵලදායිතාවය උපරිම කර ගැනීම සඳහා අත්හදාබැලීම් දිගින් දිගටම සිදුකිරීම වැදගත් වේ. එවැනි දේ හරහා ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට නවමු අවස්ථාවන් හදුනාගත හැකි වේ.
සටහන් තබා ගැනීම උපායශීලී පුද්ගලයා තමන්ව සාර්ථකත්වය කරා ගෙනයන තවත් ප්‍රධානතම සාධකයක් වේ. මෙම සටහන් තබා ගැනීම දුරකථන අංකවල සිට තමාගේ අනාගත අරමුණු දක්වා පරාසයක විහිදී ඇත. උපායශීලී නොවන පුද්ගලයා සටහන් වලට වඩා තමාගේ මතකය කෙරෙහි විශ්වාසය තබා ක්‍රියාකරන්නෙක් වේ. වර්තමානයේ තමාගේ සටහන් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වා ගැනීමට සහය වෙන මෘදුකාංග සහ apps ඕනෑම කෙනෙකුට තමාගේ ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් ලබාගත හැකි වේ. එබැවින් ඔබත් අදම උපායශීලී පුද්ගලයෙකු වීමට උත්සහ දැරිය යුතුමය. එවිට ඔබ කෙදින හෝ දිනයක සාර්ථක පුද්ගලයෙකු මෙන් කටයුතු කරනු ඇත.

No comments:
Post a Comment